ඇඳිරිනීති ඇඳිරිය මඳින් මඳ පහව යමින් තිබේ. මාස දෙකක් තිස්සේ නිවාස අඩස්සියේ සිටි අපට ද අදියරෙන් අදියර නිදහස ලැබෙනවා වැනි ය. මෙහෙව් රටේ සිරි නැරඹීමට, සිරි නරඹන ගමන් විවේක ගැනීමට, විවේක ගන්නා ගමන් ඇවිදීමට, ඇවිදින ගමන් හිරු එළිය නෑමට පැමිණි ‘සංචාරකයන්’ ද පහුගිය දෙමාසය ගත කළේ ‘හෝටල් අඩස්සියේ’ ය. රටේ තොටේ සිරි නරඹින්, ඇවිදිමින්, හිරු එළිය නාමින් නොව, සම්පූර්ණ කාලය ම පරිපූර්ණ විවේකයෙනි.
මොවුන්ගේ විවේක කාලය ‘ඇඳිරිනීති’ නිවේදනයෙන් නිවේදනයට දිග්ගැස්සෙද්දී, වීසා සහන කාලය ද දෙසතියෙන් දෙසතිය, මාසයෙන් මාසය දිග්ගැස්සුණි. ලංකාවේ සිට ලාඕසයට, එතනින් වියට්නාමයට හෝ තායිලන්තයට යාමට සිටි ‘සංචාරක අහිගුණ්ඨිකයන්’ (Backpackers) මෙන් ම ‘නිවාඩුව’ පිණිස ම පැමිණ සිටි ‘තරු පංතියේ සංචාරකයන්’ ද, දකුණු – ගාලු තීරුවේ, උඩරට කඳුකරේ, මීගමුවේ, ඇල්ලේ, කටුනායකේ තැන එක පොකුරට ම විලංගු වැටුණා වැන්න.
මොවුන්ගෙන් කෙනෙක් වූ ‘ඔලිවර්’ අවුරුදු 26 ක තරුණ සංචාරකයෙකි. ස්පාඤ්ඤ ජාතිකයෙකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි.

‘‘මම ආවෙ යුනිවසිටි වැකේෂන් එකේ දි… කලින් වතාවෙ වැකේෂන් එකට වියට්නාම් ගියා… එහේදි තමයි ලංකාව ගැන දැනගත්තෙ… ඊටපස්සෙ මෙදා පාර මෙහේ ආවා… මාසෙකට ආවත් මාස දෙකක් ම ඉන්න වුණා…’’

මෙහෙම කතාකරන ‘ඔලිවර්’ගේ දෙමාපියන් මේ වන විටත් සිටින්නේ ස්පාඤ්ඤයේ ය. තිස් දහසකට ආසන්න ජනකායක් ‘කොරෝනා’ වලින් මිය ගිය රාජ්‍යයක් වන ස්පාඤ්ඤයේ ය.

‘‘මගේ අම්මා තාත්තා ඉන්නේ ස්පාඤ්ඤයේ… මගේ උපන් රටේ… වාසනාවට මගේ දෙමාපියන්වත්, පවුලෙ කිසිම කෙනෙක්වත් වසංගතේට අහුවුණේ නෑ… මම හැමදාම ඒ අයට කතා කරලා විස්තර හොයලා බලනවා… මෙහේ විස්තර ඇහුවම ඒ අයට පුදුමයි… ලංකාවෙ වෛරස පාලනය ඒ තරමට ම හොඳයි… මම හිතන්නෙ, සීගිරියේ, යාල කැලේ ඇවිදින්න, සර්ෆින් වලට, ලංකාවට ආපු මම දැන් ආරුගම්බෙ ‘කොරොන්ටයින් වෙනවා’ කියලා… ’’
ඔලිවර් සිනාසෙන්නේ, සිය නිරුවත් පපුතුරේ ‘පච්චයක් ලෙසින් ඇඳ තිබෙන හදවත’ද අතගාමිනි.

‘‘හෝටලේ ඇතුළටම වෙලා ඉන්නකොට කම්මැලි හිතෙන්නෙ නැද්ද…?’’

ඒ ප්‍රශ්නය මගෙනි.

‘‘හෝටලේට ම කොටුවෙලා හිටියා කිව්වට, මුල්ම දවස් වල විතරයි ඇතුළටම වෙලා හිටියේ… පස්සෙ පස්සෙ මුහුදු වෙරළට යන්න පටන්ගත්තා… කොළඹ වගේ නෙවෙයි, මේ පැත්තෙ එකම රෝගියෙක්වත් නැහැ නෙ… මුහුදු වෙරළෙ ඉන්න ගමන් මුහුදෙ සර්ෆින් යන්නත් පටන් ගත්තා… මුලින් අපි හිතුවෙ මෙහේ මිනිස්සු අපි දැක්කම අපිව එළවයි කියලා… මොකද මේ ලෙඩේ මේ දූපතට ආවෙ විදේශිකයන්ගෙන් සහ විදේශගතව හිටපු අයගෙන්නෙ… ඒත් වාසනාවට, එහෙම වුණේ නෑ… මට මගේ පාඩුවෙ සර්ෆින් කරන්න, ඇවිදින්න වගේම සිංදු කියල නටන්නත් නිදහස ලැබෙනවා… කවුරුවත් අපිට නරක විදියට සලකන්නෙ නෑ… ඒ අයට පුළුවන් විදියට අපිව බලාගන්නවා… අපිට සලකනවා… ඒක හරි සුන්දර ආගන්තුක සත්කාරයක්…’’
ඔලිවර්ගේ සිනහව සැහැල්ලු ය.

‘‘කෑම බීම කොහොම ද…?’’
මම ඇසුවෙමි.
‘‘හොඳ පිළිවෙළ මෙනු එකක් නං නැහැ… එක එක දවසට එක එක කෑම ලැබෙනවා… මම නං කැමැති ම හොඳට මිරිස්, කුළුබඩු දාලා හදන සැර ම සැර ‘කෝතුව’ට…’’
ඔලිවර් ‘කෝතුව’ කියන්නේ ‘කොත්තුරොටියට’ ය.

‘‘මේ දවස්වල මුහුදු යාම හැරුණාම වෙන ඇවිදිල්ලක් නැති හින්දා, වෙනසකටත් එක්ක ලංකාවෙ කෑම හදන හැටි ඉගෙනගන්න කුස්සිය පැත්තට ගියා… ‘කෝත්තු’ හදන එක නං ටිකක් අමාරුයි… ඒත් මම ‘පරිප්පු කරිය’ හදන විදිය නං හොඳට අල්ලගත්තා… ඒක හරි රහ කෑමක්… මම ස්පාඤ්ඤයට ගියාමත් ‘පරිප්පු කරිය’ හදලා පවුලෙ අයයි, යාළුවොයි එක්ක බෙදාගන්නයි ඉන්නෙ… හැබැයි මම ස්පාඤ්ඤයට ගිහින් යාළුවොත් අරං ආපහු මෙහේ එනවා… එයාලවත් මෙහේ ඇවිද්දවන්න ආසයි… විශේෂයෙන් ම නැගෙනහිර වෙරළේ… ඒක හීනයක් හැබෑවීමක් වගේ…’’

තරුණ ඔලිවර්, නොරටකට දී කන්නට සිදු වූ ‘ලොක්ඩවුන් පරිප්පුව’ රහ කර කර කන කොල්ලෙකු බව අපට වැටහිණි.

‘‘මේ දවස්වල දෙළොස් දාහකට (12,000) ආසන්න සංචාරකයන් සංඛ්‍යාවක් අපේ රටේ හිර වෙලා ඉන්නවා… අපි ඒ අයට වීසා දීර්ඝකිරීම්වල ඉඳන් නවාතැන් පහසුකම් දීම දක්වා හැම සේවාවාක් ම ඉතා ම ඉහළ මට්ටමින් කරලා දීල තියෙනවා… ගෝලීය කොරෝනා හදිසි තත්ත්වය ඉක්ම ගිහින්, ගුවන්තොටුපළවල් ඇරෙන තුරුත් ඒ අයට තමන්ගෙ රටවල් වලට යන්න විදියක් නෑ… ඉතිං ඒ අය බලාගන්න සම්පූර්ණ වගකීම තියෙන්නෙ අපේ අතේ… මම හිතන්නෙ අපි ඒක හොඳට කරනවා… සංචාරක අංශයේ අපේ කාර්යය මණ්ඩලයත්, සංචාරක පොලිසිය සහ සංචාරක ක්ෂේත්‍රයේ හෝටල් හිමියන් ඇතුළු අනෙකුත් වෘත්තිකයනුත් සංචාරකයන්ගේ සුබසාධනය ගැන වගේ ම ඒ අයගෙ ආරක්ෂාව ගැනත් වගවෙනවා…
මේ කියන සංචාරකයන් දොළොස් දාහ අතරෙ දෙසීයක් විතර ඉන්නවා, හෝටල් ගාස්තුවවත් ගෙවාගන්න බැරි අය… ඒ කියන්නෙ, ඇවිදින ගමන් මොන මොනව හරි පොඩි රස්සාවල්, බිස්නස් කරගෙන රටින් රටට යන Backpackers ලා… ඒ අයට අපි රජයේ වියදමින් ‘හොස්ටල් ගාස්තු’ පවා ගෙවනවා… සංචාරකයො කාට වුණත්, කිසියම්ම හරි කරදරයක්, අපහසුවක් වෙනව නම් ‘1912 අංකය’ට ඇමතුමක් දීලා තමන්ගෙ ගැටලුව කියන්න අවස්ථාව දීලා තියෙනවා… ඒ වගේම එහෙම ලැබෙන හැම පැමිණිල්ලක් ම සලකලා බලලා අපහසුතාවකට පත්වෙලා ඉන්න සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසනවා…

මට විශ්වාසයි, මේ අය තමයි අපේ රටේ සුන්දරත්වය ගැන වගේම අපේ රටේ මිනිස්සුන්ගෙ මනුස්සකම ගැනත් ලෝකෙ වටේම ප්‍රචාරය කරන්නෙ… ඒ කියන්නෙ අපේ සංචාරක කර්මාන්තයේ හෙට දවසේ ‘තානාපති සේවය’ කරන්නෙ මේ අය…ඉතිං ඒ අර්ථයෙන් ගත්තම, අපි මේ අය හොඳට බලාගන්නවා කියන්නෙ ම නැවතත් ‘සංචාරක කර්මාන්තයේ’ ම’’ යැයි පවසන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය යි.
‘ඇවිදීම’ ම ජීවිතයේ ‘ලාලසාව’ බවට පත් කරගත්, Backpacker වර්ගයේ සංචාරකයෙකු, තමන් ලංකාවේදී මුහුණ දුන් ‘කොරෝනා-ලොක්ඩවුන් අත්දැකීම’ අප සමග බෙදාගත්තේ මෙසේ ය. ඔහු ගෝඩ්න් මැතිව්, 52 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.
‘‘මම අවුරුදු කිහිපයක් තිස්සෙ රටින් රටට ඇවිදින කෙනෙක්… ඕෆ් සීසන් එකේ පොඩි රස්සාවක් කරගෙන, එහෙම හොයන සල්ලි වලින් තව රටකට යන එක තමයි මගේ වැඩේ… ලංකාව මං ආපු 13 වැනි රට… ආපහු යන දවස් පහුවුණත්, මම තාම මෙහේ… මේ වගේ කාලෙක ලංකාවෙම ඉන්න සිද්ධවුණු එකට මං කැමැතියි… මෙහේ මිනිස්සු කවදාවත් අපට නරකට සැලකුවෙ නෑ… මට කොයිම වෙලාවකවත් බඩගින්නෙ ඉන්න වුණේ නෑ… ලොකු සල්ලියක් අතේ නැතුව වුණත්, කාලා බීලා සතුටින් ඉන්න පුළුවන්… මේ කාලෙටම මට ප්‍රශ්නයකට කියල තිබුණෙ, කොණ්ඩෙ රැවුල කපාගන්න විදියක් නැති වුණ එක විතරයි…

විදේශිකයන් අතර පමණක් නොව, ස්වදේශිකයන් අතර ද කොණ්ඩා-රැවුල් කපාගන්නට බැරි ව ‘තවුස් වෙස්ගත් පිරිමි’ අනන්තවත් සිටින බව මම ඔහුට කීවෙමි. ඔහු සිනාසුණේ ය. අභාග්‍යසම්පන්න කාලයක, ඇබැද්දියකට මුහුණපෑමේ සේයාවක් ඔහු කෙරෙන් ද ඵල නොවිණි.

‘‘ඇඳිරිනීතිය දැම්මයින් පස්සෙ සංචාරක වෘත්තිකයන්ගේ සංගමය හැටියට අපි සංචාරක පොලිසියත් සම්බන්ධ කරගෙන, අපේ රටේ හිරවෙලා ඉන්න සංචාරකයො මුණගැහුණා… අපි අපේ ගමන පටන්ගත්තෙ කටුනායකින්… එයාපෝට් එක වහන දවසෙ හදිසියෙම ගුවන් ගමන් ‘කැන්සල්’ වෙච්චි අය එහෙ හිටියෙ… ඒ අයට හදිසියකදි කන්න බොන්න තේ, කොපි, බිස්කට්, නූඩ්ල්ස් වගේ ක්ෂණික කෑම බීම පාර්සලය ගානෙත් අරගෙන තමයි අපි ගියේ… ඒක ඒ අයට හදිසි උපකාරයක් වෙන්න ඇති… ඉන්න තැන් නැති වුණු අයට ඉන්න තැන් හොයල දුන්නා… ඇල්ල පැත්තෙ කැලේ ‘කූඩාරමක්’ අටවගෙන හිටපු රුසියානු ජාතික ගායිකාවකටයි තවත් කිහිපදෙනෙකුටයි ඒ පැත්තෙන්ම ඉන්න තැනක් හොයලා දුන්නා… ඒ අය ගොඩක් සතුටු වුණා, අපේ උදව් උපකාර ගැන… අපි ජීවත් වෙන්නෙ සංචාරකයො හින්දා… ඉතිං හදිසි කලබලයකදි අපහසුවට පත්වෙන එයාල ගැන හොයල බලන එක අපේ වගකීම වගේ ම යුතුකම…’’

ඇඳිරිනීති කාලයේ විපතට පත්ව සිටින සංචාරකයන්ගේ දුක සැප සොයා බලමින් නගරයෙන් නගරය, හෝටලයෙන් හෝටලයට යන කණ්ඩායමට නායකත්වය දුන් සංචාරක සේවා වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ඩොනල්ඩ් රාජපක්ෂ මහතා පැවසුවේ ය.
‘‘මේ වගේ විපත්තිදායක අවස්ථාවක සංචාරකයන් වගේ අයට සිවිල් පුරවැසියන්ගෙන් කරදර අකටයුතුකම් වෙන එක වෙන රටක නං සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්… නමුත් අපේ රටේ එහෙම බරපතළ සිද්ධි කිසිවක් අපේ සංචාරක පොලිසියට වාර්තා වුණේ නෑ… ඒ අය මුහුණපාන සාමාන්‍ය ගමන්බිමන් ගැටලු ආදිය විසඳන එක තමයි, පහුගිය දවස්වල අපේ රාජකාරිය වුණේ… ඒවගේම පුළුවන් හැම වෙලාවෙම අපේ සංචාරක පොලිසියේ ‘ප්‍රාදේශීය පොලිස් ස්ථානවල නිලධාරීනුත්’ සංචාරකයන්ගේ දුක සැප නිරන්තරයෙන්ම හෙව්වා බැලුවා… ’’ යැයි පවසන්නේ, සංචාරක පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් විදානගම මහතා ය.

එක්සත් රාජධානියේ ගුරුවරියක ලෙස කටයුතු කරන 51 හැවිරිදි මෙලනි, පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ, මාසයක නිවාඩුවකට ය. ‘කොරෝනා’ නිසා ඇය ද ලංකාවේ ‘හෝටල් අඩස්සියට’ පත්වන්නේ ඒ අතරවාරයේ ය.
‘‘මම මගේ ශිෂ්‍යයින්ට මෙහේ ඉඳන් ‘ඔන්ලයින් ක්‍රමයට’ උගන්වනවා… ඉතිරි කාලය ‘ඩවුන්ලෝඩ් කරගත්’ පොත් පත් කියවනවා… හවසට එළියට පහලියට ගිහින් පරිසරය විඳිනවා… ලෝකෙ හතර කොණින් ආපු අය එක්ක මේ දවස් ගතකරනවා… ලාංකිකයන්ගෙ ආදරය විඳිනවා… මේ කාලය මගේ ජීවිත කාලයේ අමතක නොවන කාලයක්… මගේ උපන් රටේ ජීවත්වෙනවාටත් වඩා ආරක්ෂාවක් දැනෙනවා… ලංකාව වාසනාවන්ත රටක්…’’ මෙලනි මා සමග පැවසුවේ සිනාසෙමිනි.
මෙම සටහන ලිවීමේ අරමුණින් ම, ‘වීඩියෝ තාක්ෂණය’ ඔස්සේ රට වටේ රවුමක් ගිය මට, ලොව වටේ ම රවුම් ගසන Nuss Daley විසින් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ අඩස්සිගතව සිටින සංචාරකයන් ගැන තැනූ වීඩියෝවක් ද නරඹන්නට ලැබිණි. සැබැවින්ම එය මා සමග බෙදාහදාගත්තේ, පාසිකුඩාවේ සිටින සංචාරකයෙකි.

‘‘කොරෝනා කාලයේ මිලියන ගණනක්, ලෝකේ තැන් තැන්වල නතර වෙලා ඉන්නවා… ඒ අයට දිගු කාලයකට ඒ අයගෙ පවුලෙ අය මග හැරෙනවා… ඒ වගේම ඒ සමහරුන් අතේ මුදලුත් නෑ… නමුත් ශ්‍රී ලංකාව කියන කුඩා දිවයින, තමන්ගෙ රටේ තනිවුණු සංචාරකයන්ව බලාගන්නෙ, නොවෙනස් පවුල් හැඟීමෙන්ම යි… ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශයේ දී යන එන මං නැතිවෙච්චි සංචාරකයන් 14 දෙනෙක් බලාගත්තෙ, එහේ ගම්වාසීන්… ශ්‍රී ලාංකිකයන් එහේ ඉන්න සංචාරකයන්ව බලාගන්නෙ, ඔවුන් සංචාරක කර්මාන්තයෙන් කිසිදු මුදලක් උපයන්නේ නැති කාලයක… කොරෝනා වලින් පස්සෙ අපේ අතට මුදල් ලැබුණාම අපි එහේ යමු… ශ්‍රී ලාංකිකයන්ට කළගුණ සලකමු…’’ Nuss Daley ‘එම වීඩියෝව’ අතරතුර සංචාරයට පෙම්බඳින සංචාරකයන්ට ‘විවෘත ඇරයුමක්’ කරයි.

මේ නම් කොරෝනා කාලයේ අපට ඇසෙන ‘ශුභාරංචි’ ය. ‘සුපුවත්’ ය.

සුරේඛා සමරසේන