කොතරම් දක්ෂ හමුදාවක් සිටියද නිවැරදි තීරණ ගන්නා එඩිතර දේශපාලන නායකත්වයක් නොතිබුණා නම් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය වන කොටි ත්‍රස්තවාදය පරාජය කර ශ්‍රී ලංකාවේ ඒකීයභාවය රැකගැනීමට නොහැකි වනු ඇති බව ජාතික විද්වත් භික්ෂු සංසදයේ සම කැඳවුම්කරු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ “මව්බිම”ට ප්‍රකාශ කළහ.

ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ අභිමානවත් විජයග්‍රහණයේ 11 වැනි සැමරුම අද (19දා) දින පැවැත්වුවද එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සේනාධිනායක ලෙස රට වෙනුවෙන් එඩිතර තීන්දු නොගන්නට අද මෙවැනි සැමරුමක් පැවැත්වීමට නොහැකි වනු ඇති බවත්, ඇතැමුන්ට එම ඉතිහාසය අමතකවී ඇති නිසා ඔවුන්ට නිවැරදි දේශපාලන නායකත්වයේ වටිනාකම සිහි කර දීමට කැමති බවත්, මැදගොඩ අභයතිස්ස හිමියෝ පෙන්වා දෙන ලදී.

දක්ෂ රණවිරුවන් වන ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න ඇතුළු රණවිරුවන් එදා 1987 වර්ෂයේදී වඩමාරච්චි මෙහෙයුමෙන් කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අවසන් වර්ග කිලෝමීටරයට කොටුකළ අවස්ථාවේදී ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානා බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කරමින් උඩින් පරිප්පු දැමූ බවත්, එසේ ඉන්දියානු රජය දැඩි බලපෑමක් කොට වඩමාරච්චි මෙහෙයුම අතරමඟ නතර කොට කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බේරා ගැනීමට ක්‍රියා කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.

2009 වසරේ මැයි මස මුල් සතියේදී ප්‍රංශයේ සහ එංගලන්තයේ විදේශ අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ මානුෂීය මෙහෙයුම නතර කරන ලෙසට දැඩි බලපෑමක් සිදු කළද එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කිසිදු විදේශීය බලපෑමකට යටත් නොවී ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරන තුරු මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට දේශපාලන නායකත්වය ලබා දුන් බවත් මැදගොඩ අභයතිස්ස හිමියෝ සිහිපත් කරති.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවකු වශයෙන් එදා ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න මහත්වරුන් සමඟ එක්වී රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ බවත් 2009 වර්ෂයේදී ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විශාල සහයෝගයක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවද මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පෙන්වා දෙන ලදී.

2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවන විට මෙරට සිටියේ විරෝදාර රණවිරුවන් වුවද ඔවුන්ට නිවැරදි දේශපාලන නායකත්වයක් එම අවස්ථාවේදී නොලැබුණු නිසා එම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බවද මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු