ඇය ගුවන් සේවිකාවක්. ඒ වගේම දක්ෂ නිළියක්. රැකියාවේ කාර්ය බහුලත්වය එක්ක හොඳ නිර්මාණ කීපයකට ඇය දායක වෙනවා. පසුගියදා වසා දැමුණු ඉන්දියාවට හා ඔස්ට්‍රේලියාව වැනි රටවලට ගිහින් ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමට ඇයත් දායක වුණා. මේ සියල්ල ගැනයි අපි අද දිනිති වල්ගම සමග කතා බහ කරන්නේ

මේ දවස්වල කාලය ගත වෙන්නේ කොහොමද?

මේ දිනවල සූදානමින් ඉන්නවා. මම වැඩකරන ආයතනය කතා කරන සැණින් මම යන්න ඕන.

කැමැත්තෙන්ද ඔබ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන්නේ?

උපරිම කැමැත්තෙන් තමා මම මේ රැකියාව තෝරගත්තේ. අයි.ටී. උපාධියක් තියාගෙන මේ රැකියාව තෝරගත්තේ ඒ කැමැත්ත නිසාමයි.

අවසාන වරට ගුවන් ගත වුණේ කවද්ද?

බෝඩර් එක වහන්න කලින් මෙල්බර්න්වලට ගියා. ඒක තමා මෙම ව්‍යසනයට කලින් ගිය ගුවන් ගමන.

කොවිඩ් තත්ත්වය නිසා හිරවෙච්ච අය අරගෙන එන යන ගමනට සහභාගි වුණේ නැද්ද?

දඹදිව ගිහින් ඉන්දියාවේ හිරවෙලා උන්න අයව අරගෙන එන්න ගියා. ඉන්දියාව වහපු වෙලේ තමා අපි ඉන්දියාවට ගියේ. ගිහින් එකසිය විස්සක ප්‍රමාණයක් අරගෙන ආවා.

කැමැත්තෙන්ද මේ ගමනට සහභාගි වුණේ. නැත්නම් මෙය ඔබගේ රැකියාව නිසාද?

මෙහෙමයි. යන්න ඕන කියලා කතා කළොත් අපිට දෙපාරක් හිතන්න බැහැ. අනිවාර්යයෙන්ම යන්න ඕන. අනිත් කාරණාව තමා මේ රැකියාව තෝරගත්තේ හරිම කැමැත්තෙන්. රැකියාවට එනකොට අපි දන්නවා අපේ වගකීම්. රැකියාවට ආපු දවසේ ඉඳලා කරන හැම දෙයක්ම කරන්නේ කැමැත්තෙන්.

ඔබලාට ලබා දෙන ආරක්ෂාව හා පරිස්සම සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙනවද?

අනිවාර්යයෙන්ම ඔව්. සම්පූර්ණයෙන්ම ශරීරය ආවරණය වෙන ආකාරයට ආරක්ෂක ඇඳුම් කට්ටලයක් ලබා දෙනවා. රැගෙන එන මගීන්ට වෙන වෙනම ආහාර දෙන්නේ නැහැ. හැමෝටම පොදු ආහාරයක් ලබා දෙනවා. කෑම එක ආපහු එකතු කරන්නේ නැහැ. සීල් කරපු වතුර බෝතල් ලබා දෙනවා. ඉන්දියාවට ගිය ගමන්ම මගීන්ව අරගෙන ආපහු එනවා. විනාඩි පහකටවත් කොහෙවත් නතර වෙන්නේ නැහැ. උපරිම ආරක්ෂාකාරී පිළිවෙතකට තමා මේ කාර්යය කෙරෙන්නේ.

දුර ගමන් ගියාමත් මේ ආකාරයට හැරිලා එන්න පුළුවන්ද?

බැහැ. ඉන්දියාව වගේ රටකට ගත වෙන්නේ ඉතා සුළු කාලයයි. නමුත් ලන්ඩන් වගේ යන කොට කාලය වෙනස් වෙනවා. කොහොමත් ගුවන් සේවකයෙකුට අහසේ වැඩ කරන කාලයක් තියෙනවා. පැය දොළහකට වඩා එක දිගට ගුවනේ ඉන්න බැහැ. පැය පහළොවක විවේකයක් ගත යුතුමයි.

මේ මොහොතේ තිබෙන තත්ත්වය එක්ක ගෙදරින් එපා කියන්නේ නැද්ද විදෙස්ගත වෙනවට?

අම්මා එපා කියනවා. මොකද එයා මගේ අම්මානේ. ලෝකේ තියෙන අවදානමක් එක්ක එයාට එයාගේ දුව ගැන බයක් ඇති. එයාට ඉන්නේ මම විතරනේ. නමුත් රැකියාව අනුව මට අම්මා කියන දේ අහන්න බැහැ. අපි යන්නේ තවත් අම්මලාගේ දරුවෝ පිරිසක් අරගෙන එන්න. එහෙම නැතිනම් තවත් අම්මලා පිරිසක් රැගෙන එන්න. අපි බැහැ කිව්වොත් කවුද ඒ යුතුකම කරන්නේ. මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය පිරිසක් ඉන්නවා. අපි ඒ අය අතරේ ඉන්නවා. රැකියාව නිසා මට බොහෝ දේවල් ලැබුණා. මේ වෙලාවේ රට වෙනුවෙන් කරන්න දෙයක් මගේ ඉස්සරහට ඇවිත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන.

පෞද්ගලිකව ඔබට බයක් නැද්ද?

අපෝ නැහැ. අභියෝගවලට මට කැමැතියි. අනික මම රැකියාවේ ස්වභාවය හොඳමට දන්නවා.

ඒකද ගුවන් සේවිකාවක් වෙන අතරතුර රඟපාන්න තීරණය කළේ?

පාසල් වේදිකාවේ ඉඳලම කලාවට කැමැත්තක් තිබුණා. කවදහරි රඟපානවා කියලා හිතාගෙන උන්නේ. ඒක නිසා ඒකට රැකියාව ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.

අවසාන වතාවට රඟපෑවේ මොන වගේ චරිතයක්ද?

සුපුන් රත්නායකගේ බ්ලැක් ටවුන් ස්ටෝරි එකේ රඟපෑවා. සුපුන් එක්ක වැඩ කරන්න හරිම ආසාවෙන් උන්නේ.

කොහොමද අවස්ථාව ලැබෙන්නේ ?
සුපුන් රත්නායක ගාල්ලේ ඉන්නේ. මමත් ගාල්ලේ. අපි දැන හඳුනගෙන උන්නා. ඔහු කීප වරක්ම මට කතා කළා. නමුත් මගේ දින ප්‍රශ්න නිසා අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මෙවර අවස්ථාව උදා වුණා.

මේ කාර්යබහුල රැකියාවේ නිවාඩු ලබාගත්තේ කොහොමද?

මාසෙකට වරක් දින අටක නිවාඩුවක් ලැබෙනවා. මාසේ මුල රැකියා කාලසටහන දෙනවා. ඒ අනුව නිවාඩු දින රඟපෑමේ කටයුතු සඳහා තෝරගන්නවා.

ඔබගේ පෞද්ගලික කටයුතු සඳහා නිවාඩුවක් නැද්ද?

එහෙම නිවාඩුවක් මට ලැබෙන්නේ නැහැ. සමහර දවස්වලට ගුවන් යානයෙන් බැස්ස ගමන් කෙලින්ම යන්නේ දර්ශනතලයට. රංගනය වෙනුවෙන් මම ලොකු කැප කිරීමක් කරනවා.

කොහොමද නිර්මාණ තෝරගන්නේ?

ඇත්තම කියනවා නම් තෝරා බේරාගත් හොඳ නිර්මාණවලට විතරයි දායක වෙන්නේ. මොකද කැප කරන නිවාඩුව හොඳ දෙයක් වෙනුවෙන් යොදවන්න ඕන කියන මතයේ හැම මොහොතකම මම ඉන්නවා. ඇඳුම් මාරු කරනවා වගේ වැඩ බාරගන්නේ නැහැ.

බ්ලැක් ටවුන් ස්ටෝරි ගැන බොහෝ දෙනා කතා කරනවා. මියැසි වගේ කළු චරිතයක් තෝරගත්තේ ඇයි?

සුපුන් අයියා මට මුලින්ම කතාව කිව්වා. මම මීට කලින් මියැසි වගේ චරිතයක් රඟපාලා තිබුණේ නැහැ. ඊට පස්සේ තමා තිර රචනය ඉල්ල ගත්තේ. කොටස් අටක් නිසා දින ප්‍රශ්නයක් ආවෙත් නැහැ.රඟපානකොට ඩයලොග් කියන නිසා දින තුනෙන් වැඩ ඉවර වුණා. අම්ම නම් කැමැති වුණේ නැහැ මේ චරිතය රඟපානවට.

ඔබත් මියැසි වගේද?

නැහැ. මම කියන්නේ වෙනස්ම කෙනෙක්. හැබැයි රඟපානකොට මට මියැසි වෙන්න පුළුවන්. රංගනය ගැන මම අනුගමනය කරන්නේ එකම කාරණාවයි. රඟනොපා ඉන්න ලේසියි. රඟපාන්න ඊටත් වඩා ලේසියි. රඟනොපානවා වගේ රඟපාන එක තමා අමාරු. මියැසි කියන්නේ අන්න ඒ වගේ රංගනයක්.

ඉදිරියේ තිරගත වීමට ඇති නිර්මාණ මොනවද?

ප්‍රියංක ප්‍රනාන්දුගේ සුසුම් රස්තියාදුවක් ටෙලිනාට්‍ය තියෙනවා. ඒක කොටස් හතළිහක නාට්‍යයක්. සුරාජ් මාපා හා චාන්දනී සෙනෙවිරත්න සමග තමයි වැඩ කරන්නේ. ගමෙන් එන තරුණියක් නගරයේ මෝසතර නිරූපිකාවක් වීම හා ඒ සමාජ පසුබිම ගැන තමයි කතා කරන්නේ. තිර රචනය කියෙව්වාම හරිම කැමැත්තක් ආවා. මීට අමතරව ආශාවරී කියන චිත්‍රපටය තිරගතවෙන්න තියෙනවා. ‘අම්මා’ කියලා චිත්‍රපටයකට දායක වෙන්න සූදානමක් තියෙනවා.

රඟපාපු චරිත ගැන මොකද හිතෙන්නේ?

හාරකෝටිය, කෝටිපතියෝ, සිල්ලර සමනල්ලු, නෝ පාර්කින්, හිරු ඇවිත්, බ්ලැක් ටවුන් ස්ටෝරි වැනි එකිනෙකාට වෙනස් නිර්මාණ කළා. ලැබෙන සුළු කාලයත් එක්ක උපරිම තෘප්තිමත්.ආශාවරී චිත්‍රපටයේ රඟපානකොට කටුනායකින් බැහැලා එහෙම්මම දියතලාවේ දර්ශන තලයට යනවා.

ඉදිරියටත් නිර්මාණ බාරගන්නවද?

ඔව්. හැබැයි කතා කරන සියල්ලට යන්න බැරි වෙයි. ලැබෙන නිවාඩු අනුව තමයි තීරණය කරන්නේ.

හැබැයි පසුගිය දිනවල රැකියාවට අමතරව මොකුත්ම කළේ නැහැ නේද?

අවුරුදු දහයකට පස්සෙ හොඳ නිවාඩුවක් ලැබුණා ඇතිවෙන්න. ගෙදරට වෙලා නිදා ගත්තා. මේ දිනවල වැඩියෙන්ම සතුටු වෙන්නේ අපේ අම්මා. එයා මම කැමැති දේවල් මට කන්න හදලා දෙනවා. මමත් උයනවා. වගා කරනවා. පොත් කියවනවා. පසුගිය දවස්වල ගිලිහිලා තිබූ බොහෝ දේවල් නැවතත් ජීවිතයට ළං කර ගත්තා කියලා හිතෙනවා. මට කාලෙකින් චිත්‍ර අඳින්න බැරි වුණා. මගේ තාත්තා චිත්‍ර, නාට්‍ය හා රංගකලාව පිළිබඳ ගුරු උපදේශක කෙනෙක්. තාත්තා එක්ක එකතු වෙලා චිත්‍ර ඇන්දා. හරිම සතුටුයි.

දිගටම මෙහෙම තනිකඩව ඉන්නවාට අම්මා කැමතිද?

අම්මට මේ ගැන කියලම දැන් එපා වෙලා. ඒක නිසා දැන් ඒ ගැන කතා කරන්නෙත් නැහැ.

ඔයාට ඕනෙත් නැද්ද තව කෙනෙක් ජීවිතේට ළං කර ගන්න?
ඇත්තටම මට ඕනෙත් නැහැ. මොකද මම ගත කරන්නේ අතිශයින්ම කාර්යබහුල ජීවිතයක්. මට තාම රඟපාන්න ඕන. ඒක නිසා ඉස්සරහටත් මම කාර්ය බහුල වෙයි. මේ නිසා ඒ මැද්දට තව කෙනෙක් පටලගෙන අමාරුවෙ දාන්න මට බැහැ. මේ තනිකමට මම කැමතියි. හරිම නිදහස්.

රඟපාන්න කැමැති චරිතයක් තියෙනවද?

එහෙම විශේෂයක් නැහැ. මම බාරගන්නේ යමක් කරන්න තියෙන චරිත විතරයි. ඒක නිසා මට ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න ලේසියි. ආශාවරි චිත්‍රපටයේ ජයලත් මනෝරත්න එක්ක රඟපාන්න මට අවස්ථාව ලැබුණා. මගේ තාත්තා ලෙස ඔහු රඟපෑවේ. ඒ ඔහුගේ අවසාන චිත්‍රපටය. පුදුමාකාර දේවල් ගොඩක් මම ඔහුගෙන් ඉගෙන ගත්තේ. හැමදාම මම ඉගෙන ගන්නවා.

නමුත් මේ ක්ෂේත්‍රයේ අයුතු බලපෑම් වැඩියි කියන එක නොරහසක් නොවේ නේද?

මම නම් දන්නේ නැහැ. මට එහෙම අයුතු බලපෑමක් ආවොත් කොච්චර හොඳ චරිතයක් වුණත් එකපාර ප්‍රතික්ෂේප කරනවා. රංගනය කියන්නේ මගේ කැමැත්ත, තෘප්තිය විතරයි. ජීවත් වෙන්න මට හොඳ රැකියාවක් තියෙනවා. කාගෙවත් අනිසි බලපෑම්වලට මම යටත් වෙන්නේ නැහැ.

රටේ ඇති වී තිබෙන කොවිඩ් – 19 තත්ත්වය එක්ක ඉදිරි ජීවිතේට කොහොම මුහුණ දෙන්න වෙයිද?

මමනම් කියන්නේ අපිට මේකට පුරුදු වෙන්න වෙනවා. මේ රෝගය තවත් අවුරුදු ගාණක් පවතිනවා. ඇත්තටම මේ අලුත් දේවල් නෙමේ. පොඩි කාලේ ඉඳලම කිව්වා සබන් දාලා අත්හෝදන්න කියලා. නහය ආවරණය කරගන්න කියලා. කොත්තමල්ලි බොන්න කියලා. හැබැයි අපිට මේවට හුරු වෙන්න කොවිඩ් -19 එනකම්ම ඉන්න වුණා. දැන් අපි උත්සාහ කරන්න ඕනේ ලෙඩේ හදාගන්නෙ නැති පරිස්සමින් ඉන්න.

ඔබ කැමැතිද රට විවෘත කරනවද?
මේක වහගෙන ඉඳල බැහැ. මම කැමැතියි හෙට සමාජයට ඇවිත් වැඩ කරන්න. මගේ ජීවිතේට ආදරේ නම් මම පරිස්සමින් ඉන්න ඕන. හැදුණොත් ප්‍රතිකාර අරගෙන සුවකරගන්න වෙනවා. හෙට ආයෙමත් මට ලන්ඩන් යන්න වෙයි. රෝගය එක්ක අපිට පිටත් වෙන්න වෙනවා. බයවෙලා වැඩක් නැහැ.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර

ඡායාරූප – සාලිය තිලකරත්න
තුෂාර සංජීව

හැඩගැන්වීම – හරුස් ෂායිදීන්