මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් අතුරින් සියයට 55 කට වැඩි ප්‍රතිශතයක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 43 දෙනකු සුවය ලබා අද නිවෙස් වෙත පිටව යාමත් සමඟයි.

එමෙන්ම පසුගිය දින 16 ක කාලය තුළ නාවික හමුදා නියැදිය හා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියැදිය හැරුණු කොට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයකු හමු වී නොමැතිවීමද විශේෂත්වයක්.

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 949 දක්වා ඉහළ ගියේය.

අද තවත් පුද්ගලයින් 43 දෙනකු  පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ගණන 520 ක්.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මරණ 09 ක් වාර්තා විය.

කොවිඩ් ආසාදිතයින් 420 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් සියයට 55 කට වැඩි ප්‍රතිශතයක් අද වන විට පූර්ණ සුවය ලබා තිබේ.

සමස්ත ආසාදිතයන්ගෙන් සියයට 43.4 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මුළු ආසාදිතයන් ප්‍රමාණයෙන් සියයට දශම 9 ක් තරම් වූ සුළු ප්‍රතිශතයක් වීම විශේෂත්වයක්.

අද දහවල් 12.30 වන විට නාවික හමුදා සාමාජිකයින් 499 දෙනෙකු කොවිඩ් 19 ආසාදනයට ලක්ව සිටි තර, ඉන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටවයාමත් සමග සුවය ලැබු මුළුනාවික හමුදා සාමාජිකයින් ගණන 177 ක්.

නාවික හමුදා සාමාජිකයින් 322 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ඒ අනුව එම පිරිසට අමතරව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 84 ක් පමණයි.

එමෙන්ම ජා-ඇල සුදුවැල්ල ප්‍රෙද්ශයේ ආසාදිතයන් හඳුනාගැනීමේ නිරත වූ නාවික හමුදා භට පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් පසුව පළමු නාවික හමුදා ආසාදිත සෙබළා හඳුනාගැනුණු ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට අද දහවල් 12.30 දක්වා කාලය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් ගණන 627 ක්.

ඊට ඇතුළත් නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන 534 ක් වේ.

එනම් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වෛරසය වැළඳීමෙන් පැතිර ගිය නියැදිය හැරුණු කොට ගෙවුණු දින 24 ක කාලය තුළ බාහිර නිරෝධායන කඳවුරු හා ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු පමණයි.

ඊයේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනා අතරින්  9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින්.

අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයකුගේ ආශ්‍රිතයෙක්.

අද පස්වරුවේ හඳුනාගත් ආසාදිතයින් දෙදෙනාගෙන් අයෙක් මීයන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුවන අතර අනෙක් පුද්ගලයා ඉන්දියාවේ චෙන්නාහි සිට පැමිණි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙක් .

එමෙන්ම පසුගිය දින 16 ක කාලය තුළ නාවික හමුදා නියැදිය හා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියැදිය හැරුණු කොට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයකු හමු වී නොමැතිවීම විශේෂත්වයක්.

‍ෙඒ අනුව හදුනාගත් අවදානම් කණ්ඩායම් PCR පරීක්ෂණයන්ට දෛනිකව ලක් කරනු ලබයි.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් හේතුවෙන් හුදකලා කර තිබි ඊයේ විවෘතකළ කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙ පුද්ගලයන් අද PCR පරීක්ෂණයට ලක්කිරීම සඳහා සාම්පල ලබාගැනීම සිදු කළේය.

මේ අතර කොවිඩ් -19 වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ජපානයේ රැඳි සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 235 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේය.

ඒ ජපානයේ නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  යු.එල්.455 දරණ ගුවන් යානයෙන්. 

මෙම මගීන් අතර ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් මෙන්ම ජපන් ජාතිකයින් ද සිටියි.
 
කටුනායක ගුවන් තොටුපළදි ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සහ විෂබීජහරණයෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කළේය.

මේ අතර කොවිඩ් ව්‍යාප්තියේ අවදානම සලකා මාලදිවයිනේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් යළි දිවයිනට ගෙන්වා ගැනීමට රජය පසුගියදා පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ අවදානමකට ගොදුරු වූ මාලදිවයිනේ තවත් දූපතක් වන මලහිනි කුඩබැන්ඩෝස්හි රැඳී සිටි සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳව අද දෙරණට වාර්තා වේ.

මේ අතර යුරෝපය සහ ඉන්දියාව ඇතුළු රටවලින් පැමිණ සිට්රස් ඇතුළු තරු පන්තියේ හෝටල්වල නිරෝධයන කටයුතුවල නිරත පළමු කණ්ඩායමේ 86 දෙනකු PCR පරීක්ෂණයන්ට ලක්කර ඇති අතර ඔවුන් කිසිවකුටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වි නොමැති බව තහවුරු වි තිබේ .

ගල්ල හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්තානයේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිට එම කටයුතු සාර්ථකව අවසන් කළ නාවික හමුදා පවුල් වල සමාජිකයින් 24 දෙනකු අද සිය නිවෙස් වලට පිටත් කර යැවුණි.