කටුවාපිටිය දේවස්ථානයේ පැවැත්වෙන පාස්කු දේව මෙහෙයන් සදහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස එම දේවස්ථානයේ පියතුමා ඉල්ලා සිටියත් එම ආරක්ෂාව ලබාදීමට නොහැකි වූ බව එවක කටාන පොලිසියේ ස්ථානාධිපති කෝසල චමින්ද නවරත්න මහතා අද (16) පිළිගනු ලැබුවේය.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේදීයි.

  පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ඊයේ පස්වරුවේ පෙනී සිටියේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මීගමුව සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහතායි.

එහිදී ඔහු කොමිසමට සදහන් කළේ ප්‍රහාරය පිළිබද අනතුරු ඇඟවීමේ ලිපි ලැබුණු පසු තමා ඒවා පරික්ෂා කර බලා අප්‍රේල් 19 වන කටාන පොලිස් ස්ථානයට යනවිට එම ස්ථානාධිපතිවරයාගේ මේසය මත අදාල ලිපි කට්ටලය තිබුණු බවයි.

ඒ පිළිබදව කටාන පොලිස් ස්ථානාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් සිසිර කුමාර මහතා පැවසුවේය.

එසේනම් වරද කාගේදැයි කොමිසම විමසූ අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා පැවසුවේ තොරතුරු කොළයකට පමණක් සීමා වුවත් එහි වගකීමක් තමා ඇතුළු පිරිසටද ඇති බවයි.

ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ මීගමුව කොට්ඨාසයේ බුද්ධි ඒකකයේ නිලධාරියෙක්.

ඔහුගේ නම මාධ්‍යයට අනාවරණය කෙරුණේ නැත.

ප්‍රහාරය සිදුවීමෙන් පසු මීගමුව කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා තමා අමතා මේ පිළිබද වාර්තාවක් ලබාදෙන ඉල්ලා සිටි බව සාක්ෂිකරු පැවසුවේය.

එලෙස වාර්තාවක් ඉල්ලා සිටියේ ඇයි දැයි කොමිසම ප්‍රශ්න කරද්දී සාක්ෂිකරු පැවසුවේ චන්දන අතුකෝරල මහතාට ප්‍රශ්නයක් ඇතිවේයැයි ඔහු විශ්වාස කළ බැවින් මෙවන් වාර්තාවක් ඉල්ලා සිටි බවයි.

ඒ අනුව ප්‍රහාරයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැතැයි අප්‍රේල් 18 වන දිනය යෙදූ ලිපියක් තමාට අප්‍රේල් 25 වැනිදා ලබාදීමට මීගමුව කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා කටයුතු කළ බවයි මීගමුව කොට්ඨාසයේ බුද්ධි ඒකකයේ නිලධාරියා පැවසුවේ.

එලෙස ඊයේ දිනයේ සාක්ෂි විමසීම අවසන් කෙරුණු අතර අද දිනයේ සාක්ෂි විමසීමට කැදවා තිබුණේ එවක කටාන පොලිසියේ ස්ථානාධිපති කෝසල චමින්ද නවරත්න මහතායි.

කටුවාපිටිය දේවස්ථානයේ පියතුමා , දේවමෙහෙයන් සදහා ආරක්ෂාව ඉල්ලා සිටි බව සාක්ෂිකරු මින් පෙර කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට ලබාදී ඇතැයි කියන ප්‍රකාශය‍ පිළිබදව කොමිසමේ විනිසුරුවරුන් ප්‍රථමයෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් කෝසල චමින්ද මහතා පැවසුවේ කටුවාපිටිය දේවස්ථානය පියතුමා නොව කඳවල දේවස්ථානයේ පියතුමා පමණක් තමාගෙන් ආරක්ෂාව ඉල්ලා සිටි බවයි.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ලබාදුන් ප්‍රකාශ පරස්පර නිසා ඔහු මීට පෙර කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට ලබාදුන් ලිඛිත ප්‍රකාශනය ඔහුට පෙන්වා සිටියේය.

පසුව අවසානයේදී සාක්ෂිකරු පිළිගනු ලැබුවේ කටුවාපිටිය දේවස්ථානයේ පියතුමා අප්‍රේල් 20 වැනිදා රාත්‍රීයේදී තමා අමතා එම දේවස්ථානයේ පැවැත්වෙන දේවමෙහෙයන් සදහා තමාගෙන් ආරක්ෂාව ඉල්ලා සිටි බවයි.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ කඳවල සහ කටුවාපිටිය යන දේවස්ථාන දෙකේ ආරක්ෂාව සදහා රාත්‍රී පොලිස් ජංගම මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් ඒ සදහා පිටත් කර යැවූ බවයි.

එහිදී කොමිසම විමසා සිටියේ දේවස්ථාන වලට ආරක්ෂාව ලබාදෙන්නැයි උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කළේද යන්නයි.

එවක මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා එදින රාත්‍රී 7.30ට තමා අමතා මුකුත් වෙන්න දෙන්න එපා , නයිට් ඩියුටි ඇලර්ට් කරන්න යැයි තමාට පැවසූ බව සාක්ෂිකරු සදහන් කළේය.

ඒ අනුව ආරක්ෂාව යෙදෙවූයේදැයි කොමිසම ප්‍රශ්න කරද්දී සාක්ෂිකරු සදහන් කළේ රාත්‍රී ජංගම මුර සංචාරයේ සිටි නිලධාරීන් ඊට යෙදවූ බවයි.

එම ආරක්ෂාව යෙදවූයේ දේවස්ථානයේ ආරක්ෂාවටද නැතිනම් ප්‍රදේශයේ ආරක්ෂාවටදැයි කොමිසම යළි ප්‍රශ්න කළේය.

අප්‍රේල් 20 වැනිදා රාත්‍රීයේ දේවස්ථානයේ දේවමෙ‍හෙයක් පැවැති බවත් එය අවසන් වන තෙක් පොලිස් නිලධාරීන් එහි රැදී සිට පසුව ප්‍රදේශයේ ආරක්ෂාව සදහා ඔවුන් යෙදවූ බවයි චමින්ද නවරත්න මහතා පැවසුවේ.

එසේනම් උදෑසන දේව මෙහෙයට ආරක්ෂාව නොයෙදූයේ ඇයි දැයි කොමිසම ප්‍රශ්න කළේය.

ඊට එවක එවක කටාන පොලිසියේ ස්ථානාධිපති කෝසල චමින්ද නවරත්න මහතා පැවසුවේ උදෑසන දේව මෙහෙයක් පැවැත්වෙන බවට තමා නොදැන සිටි බවයි.