අමිල තම පාසල් ප්‍රේමය ජය ගත්තේය. වසර දහයක කාලයක් තිස්සේ තම පෙම්වතිය වූ හර්ෂණීටත් අමිලටත් දෙපාර්ශ්වයේම ආශීර්වාදය ලැබුණි. සෑම යුවතියකගේම ලොකුම හීනය වූ සුන්දර මනාලියක් වීමේ හීනය හර්ෂණීටත් තිබුණි. පෞද්ගලික ආයතනයක සේවය කළ හර්ෂණීත්, විදෙස් රටක ඉහළ වැටුපකට රැකියාවක් කළ අමිලත් වසර කිහිපයක සිට යම් මුදලක් ඉතිරි කරන ලද්දේ තම විවාහ මංගල උත්සවය උත්කර්ෂවත් අන්දමින් ගන්නටය.

ගිය වසරේ පැවති මංගල ප්‍රදර්ශනයකට සහභාගී වුණ හර්ෂණී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී, කේක් නිර්මාණකරැවන් ඇතුළු බොහෝ දෙනෙකුගේ අත් පත්‍රිකා රැගෙන ආවාය. අන්තර්ජාලය ඔස්සේ අමිල සමඟ කතා කරමින් හර්ෂණී මේ වසරේ මැයි මාසයට වෙන්කෙරැණු තම විවාහ උත්සවයේ වැඩකටයුතු සංවිධානය කළාය. සියලු බලාපොරොත්තු පොදි බැඳගෙන ජනවාරි මාසයේදී අමිල ලංකාවට පැමිණියේය.

නමුත් කොරෝනා වසංගතයෙන් සියල්ලම කනපිට පෙරළුණේය. අමිලගේත්, හර්ෂණීගේත් මංගල සිහිනය බොඳවී ගියේය. මුළු රටේම ඇඳිරි නීතිය පැනවෙද්දී අමිලගේත්, හර්ෂණීගේත් නැකැත් දිනයද ඇඳිරි නීතියෙන් යට විය.

මෙවැනි අමිලලා, හර්ෂණීලා ඕනෑතරම්ය. මේ මංගල මාසයයි. මැයි මාසයේ බොහෝ ආදරවන්තයන් තම සුවිශේෂී මංගල දිනය සඳහා වෙන්කළ මාසයකි. නමුත් මෙවර මංගල මාසය සියලු ආදරවන්තයන්ගේ සිහින බොඳකර තිබේ. ආදරවන්තයන්ගේ පමණක් නොව විවාහ උත්සවයක් සමගාමීව සම්බන්ධ වන බොහෝ ව්‍යාපාරිකයන්ගේ සිහින සියල්ලද ඒ සමඟ නිමවිය. මාස කිහිපයක්, වසරක කාලයක් තිස්සේ මැයි මාසයට සූදානම් වුණ මංගල්‍ය සැලසුම් ව්‍යාපාරිකයන් පවා අද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටය.

මට මාර්තු විසිහතර වෙඩින් එකක් කරන්න තිබුණා. හරියටම ඊට දවස් දෙකකට කලින් ඒ අය මට කෝල් කරලා වෙඩින් එක කල් දානවා කියලා කිව්වා. ඒක ලංකාවේ ඉහළ පෙළේ හෝටලයක තිබුණ විවාහ උත්සවයක්. ආරාධිත අමුත්තන් තුන්සිය පනහකට ඔවුන් ආරාධනා කරලා තිබුණා. අන්තිම මොහොතේ ඔවුන් වෙඩින් එක ගන්නේ නැති බව තීරණය කළා. මැයි මාසේදී වෙඩින් කිහිපයක් කරන්න තිබුණා. ඒ හැමදේම දින නියමයක් නැතිව කල්ගියා. මම වෙඩින් වැඩිය බාරගත්තෙත් නැහැ. බාරගත්තු ඒවාවලින් දැනට කල් නොගිය උත්සව තියෙන්නේ ඔක්තෝබර්වල ඒවා තමයි. තාම ඒ අය කල්දමන්නට තීරණය කරලා නැහැ. අනිත් සියලුම උත්සව දින නියමයක් නැතිව කල්ගියා. කල් දැම්මත් ඒ අයට හෝටල් වෙන්කර ගැනීම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ අවශ්‍ය දින, නැකැත් එක්ක ඒක ලොකු ප්‍රශ්නයක්. අපිට රූපලාවණ්‍යාගාරය විවෘත කරන්න අවසරය ලැබුණත් තවමත් ඒවා අපිට විවෘත කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. යැයි කොණ්ඩා සැකසුම් හා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි හරෑන් සෙඩීන් දේශයට පැවසීය.

මාර්තු සහ මැයි මාසවල පැවැත්වෙන බොහෝ විවාහ උත්සවවලදී පෙර සූදානම් කිරීම් රූපලාවණ්‍ය ශිල්පීහු කල් ඇතුව සූදානම් කරති. හරෑන් රූපලාවණ්‍ය ශිල්පියකු මෙන්ම සිනමා නිර්මාණයේදී කොණ්ඩා සැකසුම් හා රූපලාවණ්‍ය කටයුතුවල නිරතවන ශිල්පියෙකි. ඔහු පවසන පරිදි මෙය දරාගත නොහැකි පාඩුවකි. කිසිදු මනමාලියකගෙන් ඔවුහු සම්පූර්ණ මුදල මුල්වර ලබා නොගනිති. ඒ වෙනුවට අත්තිකාරම් මුදලක් පමණක් ලබාගනිති. නමුත් ඒ අත්තිකාරම් මුදලට වැඩි කොටසක් මූලික සූදානම් වීමේදී ඔවුන් අතින් වැයවන බව හරෑන් පවසයි. මේ නිසාම කොරෝනා වසංගත තත්ත්වයෙන් සිදුවන්නේ දරාගත නොහැකි පාඩුවකි

රංගන ප්‍රේමරත්න කිරිබත්ගොඩ නගරයේ සැලෝන් 4U රෑපලාවණ්‍යාගාරයේ හිමිකරැවාය. අද රංගනද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

&අප්‍රේල්, මැයි මාස සැලෝන් කරන අය ගොඩයන මාසයයි. අප්‍රේල් මාසයට අවුරුද්දට හැමෝම ලෑස්තිවෙන මාසයයි. මේ වසරේදී අප්‍රේල් මාසෙදි අපිට සිදුවුණේ ලොකු පාඩුවක්. මේ මාසවලින් එකතුවන ආදායමින් තමයි අපි හැමෝම මේ රෑපලාවණ්‍යාගාර අලුත්වැඩියා කටයුතු පවා සිදුකරන්නේ. මැයි මාසය කියන්නේ මංගල මාසයයි. මේ අවුරුද්දේ අගෝස්තුවල වෙන්කෙරැණු විවාහ උත්සව පවා දින නියමයක් නැතිව කල්ගියා. බොහෝ දෙනා කියන්නේ ඒ අය පුළුවන් විදිහට ගෙදරම චාම් විදිහට ඒ ටික කරගන්නම් කියලා. ඇත්තටම අපිට වුණේ ලොකු පාඩුවක්. සමහරු කල් දමන්න තීරණය කළා. නමුත් ඒ සියල්ලේම තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්. මගේ යටතේ වැඩකරන සේවකයන්ගේ වැටුප් පවා ගෙවාගන්න විදිහක් නැහැ. මේ මාස කිහිපය තුළදී මම බාරගත්තු විවාහ උත්සව පහළොවක් – විස්සක් පමණ දින නියමයක් නැතිව කල්ගියා. සමහරැ ඒ අයට පුළුවන් විදිහට ගෙදරදීම කරගන්න බව කීවා. ඇත්තටම මේ දේවල්වලින් අපිට සිදුවුණේ විශාල පාඩුවක්. මනමාලියන්ගේ සාරි පවා අපි වේලාසන ගන්නවා. ලබන වසරේදී ආයෙත් විවාහ උත්සව ගන්නා අයට ඒ බොහෝ සාරි විලාසිතා වෙනස් වෙන්න පුළුවන්. අලුත් අලුත් විලාසිතා එද්දී ඒවාට හැඩවෙන්න තමයි මනමාලියන් කැමැති වෙන්නේ.

රංගන ප්‍රේමරත්න දේශයට තම අදහස් පැවසීය.

ඔහුගේ නවතම රෑපලාවණ්‍යාගාරයේ එක් මසකට ලක්ෂයකට ආසන්න මුදලක් කුලිය වශයෙන් ගෙවයි. නමුත් මේ වසංගතයත් සමඟ මාස තුනක මුදලක් ඔහුට ගෙවීමට නොහැකි විය. මේ නිසාම ඔහු දැඩි අපහසුතාවයට පත්ව සිටී.
&ඇඳිරි නීතිය ලංකාවටම ක්‍රියාත්මක වුණු මාර්තු මාසේ අවසානයේ තිබුණ විවාහ උත්සවයේ සිට ජූලි මාසෙන් වෙන්කරලා තියෙන විවාහ උත්සව පවා මේ වනවිටත් දින නියමයක් නැතිව කල් දමා තිබෙනවා. අපෙ ආයතනයේත් මනාලියන් හැඩගැන්වීමට අමතරව උත්සව ශාලා සැරසිලි, පෝරුව සැකසුම් සියලුම සැරසිලි වෙඩින් කේක් නිර්මාණය කරනවා. මේ මැයි මාසයට යොදාගත් ඒ හැම කටයුත්තක්ම කල්ගියා. මැයි මාසයට දින යොදාගත්තු මේ හැම උත්සවයක්ම අපෙන් දින වෙන්කරගත්තේ අවුරැද්දකටත් කලින් ඉඳලමයි. ඒ හැම උත්සවයකටම වගේ යම් තේමාවක් තිබුණා. සමහරැ නිල් පාටින්ම සම්පූර්ණ උත්සවය සූදානම් කළා. සමහරු සමනලයා තේමාව කරගෙන ඇඳුම් පැළඳුම්, සැරසිලි නිර්මාණය කරන්න තෝරාගත්තා. ඒ වෙනුවෙන් අපි මාස ගණනාවක සිටම සූදානම් වුණා. ඇත්තටම ඒ සියල්ලන්ම අද අපතේ ගියා. මනමාලියගේ ඇඳුම් නිර්මාණය, පෝරැව, සැරසිලි, කේක් සැරසිලි මේ හැම දෙයක්ම අපි මාස ගණනාවක සිටම සූදානම් වුණා. යැයි Eversha Wedding disigners අධිපති සංජය ප්‍රසාද් දේශයට පැවසීය.

මේ බොහෝ උත්සව වර්තමානයේදී රටේ පවතින තත්ත්වය හමුවේ තම නිවසේදී ඉතා චාම් අයුරින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ. ඇතැමුන්ට සුභ නැකැත් නොමැතිකම නිසාම පසුවන්නේ දැඩි කනස්සල්ලෙනි. වසර ගණනාවක්, මාස ගණනාවක් තිස්සේ සැලසුම් කරමින්, තේමාවක් යොදාගනිමින් සූදානම් වූ විවාහ උත්සවය පිළිබඳ සිහිනය දැන් ඒ කිසිවකුට නැත. ඔවුන්ට අද වනවිට උත්සවයට වෙන්වුණ වර්ණයක් නැත. උත්සවයට වෙන්වුණ තේමාවක් නැත. ඒ සඳහා වෙන් කෙරුණු සුභ නැකතක් නැත. බොහෝ අයගේ උත්සාහය වූයේ දෙතැනක ජීවත් වූ හිත් දෙකක් විවාහය ලියාපදිංචි කොට එක වහලක් යට ජීවත් වීමය. කොරෝනා ඒ සියලු හිත්වල තිබූ සුබ සිහින සුනුවිසුණු කර තිබේ.

&අපිට දින වෙන්කරපු විවාහ උත්සව හතළිහක් පමණ මේ කොරෝනා වසංගතයත් එක්ක කල්ගියා. සමහරැ ඒ අයගේ නිවෙස්වල චාම් විදිහට ඒ සුභ නැකැත් අනුව කරන්න තීරණය කරලා තිබුණා. සමහරැ දැනටත් ඉදිරි උත්සව ගැන තීරණයක් අරගෙන නැහැ. ඔවුන් ඉන්නේ දෙගිඩියාවෙන්. මැයි මාසේ වෙඩින් සියල්ලම නැවැත්වුවා. ජුනි, ජූලි, අගෝස්තු විවාහ උත්සව පවා ඒ අය තියන්න තීරණය කරලා නැහැ

යැයි Eversha wedding designers අධිපති සංජය ප්‍රසාද් වැඩිදුරටත් දේශයට පැවසීය.

මෙම කොරෝනා වසංගතයත් සමඟ විශාල ලෙසින් පාඩු සිදු වූ තවත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ වන්නේ හෝටල් කර්මාන්තයයි. බොහෝ හෝටල් සඳහා වැඩි වාසි ලැබෙන මේ මංගල මැයි මාසයේ ද සිදුවූයේ දරාගත නොහැකි පාඩුවකි.

මැයි මාසය ඇතුළත මේ මාස කිහිපය තුළදීම අපේ හෝටලය විවාහ උත්සව දින වෙන් කරලා තිබුණා. නමුත් මෙවර මේ කොරෝනා වසංගතයත් සමඟ ඒ සියලු උත්සව දින නියමක් නැතිව කල් ගියා. අපේ උත්සව ශාලාවල සේවක සේවිකාවන් පිරිසක්ම සේවය කරනවා. මේ තත්ත්වයත් එක්ක ඔවුන් වැටුප් ලබාදීම, හෝටලය පවත්වාගෙන යාමත් විශාල ගැටලුවක්. මේ ප්‍රශ්නය කවදා ඉවරවෙයිද කියන්න දන්නේ නැහැ. මේක අපේ ක්ෂේත්‍රයට ලොකු පාඩුවක් එක් හෝටල් හිමියෙක් පැවසීය.
මනාලියන්ගේ ඇඳුම් මෙන්ම මනාල මහතාගේ ඇඳුම් පැළඳුම් සඳහා ද මේ වනවිට ලංකාවේ ඇත්තේ විශාල ඉල්ලුමකි. කාලයට අනුව ගැලපෙන සේ යුරෝපා ඇඳුම් කට්ටල නිර්මාණය කරනා කසුන් ප්‍රනාන්දුද අද සිටින්නේ විශාල ගැටලුවකය. මංගල මාසයේ තම ව්‍යාපාරික සිහින සැබෑ කරගනන්ට පෙරුම් පිරූ ඔහුගේ බලාපොරොත්තු අද බිඳී ගොස්ය.

ගිය අවුරුද්දේ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමත් එක්ක ඒ වසරට යොදාගෙන තිබුණු බොහෝ විවාහ උත්සව මේ වසරේ මේ කාලයට කල් දැමුණා. මේ වසරේ ඇතිවුණ කොරෝනා වසංගතයත් සමඟම මේ සියලු විවාහ උත්සව දින නියමයක් නැතිවම කල් දැමුණා. මේ සමහර විවාහ උත්සව ඔවුන් පුළුවන් විදිහට සාමාන්‍ය ඇඳුම් අරගෙන නිවෙස්වලම කරගෙන තිබුණා. මැයි මාසේ සුභ කාලය නිසාම මම තවත් මගේ ශාඛාවක් මාර්තු මාසයේදී පානදුරේ විවෘත කළා. ඒක විවෘත කරපු දවසට පහුවදාම ඒකත් වහන්න සිද්ධ වුණා. මේ අවුරුද්දට වෙළෙඳපොළට හඳුන්වලා දෙන්න නිර්මාණ කරපු කෝට් වර්ග පහළොවක් විස්සක් පමණ තියෙනවා. ඊට අමතරව මේ මාස කිහිපයේදී විවාහ වෙන්නට බලාපොරොත්තුවෙන් හිටිය මනාලයන්ගේ, දෙවැනි මනාලයන්ගේ කෝට් බොහෝමයක් තියෙනවා. ඒවායින් සමහරක් සම්පූර්ණයෙන්ම මහලා ඉවරයි. සමහර කෝට් භාගයට මහලා. දැන් ඒ බොහෝ දෙනා ඒ ගැන වැඩිය අහන්නෙවත් නෑ. ඒ සියලුම උත්සව දින නියමයක් නැතිව කල් ගිහින්. මගේ ආයතන දෙකේම මාසික කුලිය ලක්ෂ එකකටත් වැඩියි. මාස දෙකක් පමණ දැන් සියල්ල ගෙවාගන්න මට බැරි වුණා. මම යටතේ සේවකයන් පහළොස් දෙනෙක් සේවය කරනවා. මට පුළුවන් විදිහට මම ඒ අයට මුදල් ලබාදුන්නා. අලුතින් ගෙනාපු මැෂින්වලට ගෙවන්නවත් මුදල් මට  නැහැ. මැයි මාසය නිසා ලක්ෂ විසි පහක රෙදි චෙක්පත් මගින් මම මිලදී ගත්තා. ඒ චෙක්පත්වලට දමන්න මුදල් අද නැහැ. ඒ හැමදේම නිසාම මානසිකව පවා අපි ඉන්නේ කඩා වැටිලා. යැයි Art of the Tailarings හි අධිපති සුරංග ප්‍රනාන්දු දේශයට පැවසීය.

දිශානි ජයමාලි කරුණාරත්න / www.deshaya.lk