රණවිරුවකුගේ බිරියක් වීම ගැන ආඩම්බර වෙනවා

හසිනිකා කරලියැද්ද

මම හමුදා නිල ඇඳුමට පුදුම විදිහට ආසා කළා. අපේ අක්කා කෙනෙක් හමුදාවේ හිටපු නිසා මට ඒ නිල ඇඳුමට ආසා හිතුණා. කවදාවත් හමුදාවේ කෙනෙක් බඳිනවා කියලා නම් හිතාගෙන හිටියේ නැහැ. මට ඒ ඇඳුම අඳින්න තමයි වුවමනාව තිබ්බේ. මම විවාහ වෙලා ඉන්නේ මගේ පළමු ආදරේ එක්ක. 

මට පාසල් කාලෙවත් ආදර සම්බන්ධයක් තිබ්බේ නැහැ. පළමු ආදරේ එක්කම තමයි මම විවාහ වුණේ. ඔහුව මට මුණගැහුණෙත් අහම්බයකින්. මට 1999 තමයි පළමු වැනි සම්මානය ලැබුණේ. ඉතින් ඒ සම්මානය අරන් බස් එකේ එද්දි මට මල්ලි කෙනෙක් මුණගැහුණා. අපි සුහද වුණා. ඒ කාලේ අපිට ජංගම දුරකථන තිබ්බේ නෑනේ. ඉතින් මගේ බෝඩිමේ දුරකථන අංකයත් ඔහු ඉල්ලා ගත්තා. ඒ මල්ලි මාත් එක්ක කතාබහ කළා. දවසක් ඔහු කිව්වා ආමි එකේ ඉඳන් නිවාඩු ආපු අයියා කෙනෙක් ඉන්නවා මාත් එක්ක කතා කරන්න ආසයි කියලා. ඒ කාලේ තදටම යුද්දේ තිබ්බ කාලයක්. 

ඉතින් මම ඒ ආමි එකේ කෙනා එක්කත් දුරකථනයෙන් කතා කළා. ඔහුත් එක්ක කතා කරද්දි ඔහු හොඳ කෙනෙක් කියලා තේරුණා. ඔහු මට දවසක් කිව්වා මං ගැන ඔහුගේ හිතේ අදහසක් තියෙනවා කියලා. ඔහු ගැන මටත් කැමැත්තක් ඇති වුණා. අපේ ගෙදරට මේ ගැන කිව්වම යුද්දේ දරුණුවට තිබ්බ නිසා හමුදාවේ කෙනෙක් බඳිනවාට ගෙදර අය කැමැති වුණේ නැහැ. මම අම්මට කිව්වා සමහර වෙලාවට මම ජීවිත කාලෙටම මේ සම්බන්ධයට විතරක් කැමැති වෙන්න පුළුවන් කියලා. ඔහු එක්ක මම විවාහ වුණා. ඔහු අවංක යුද හමුදා නිලධාරියෙක්. රාජකාරිය දේවකාරියටත් ඉහළින් කරන කෙනෙක්. 

රණවිරුවෙක්ගේ බිරියක් වීම ගැන අද මම ආඩම්බර වෙනවා. රට වෙනුවෙන් සේවය කරන රණවිරුවෝ ගැන ඇතැම් මිනිසුන්ට මතක තියෙන්නේ ටික කාලයයි. පුදුම විදිහට ඔවුන්ව අගයලා එහෙම රණවිරුවෝ හිටියද කියලා අමතක කරන මිනිසුන් අපේ රටේ ඉන්නේ. අපේ රටේ රණවිරුවෝ පුදුමාකාර කැප කිරීමක් කරන්නේ. 

රටේ යුද්ධය විතරක් නෙවෙයි බොහෝ ව්‍යසනයන් ආපු වෙලාවන්හිදී ඔවුන් පුදුමාකාර කැප කිරීමක් කළේ. මේ පවතින වසංගත තත්ත්වයෙදිත් එහෙමයි. මගේ සැමියත් මේ දවස්වල ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. වෙනදා ඔවුන් සටන් කළේ පෙනෙන බලවේග එක්ක. දැන් ඔවුන්ට කොරෝනා වගේ නොපෙනෙන බලවේග එක්කත් සටන් කරන්න වෙලා.

එයා රට රකිනවා… මම එයාව රකිනවා

අශිකා මතසිංහ

යුද්දේ ඉවර වෙලා සතියකට පස්සේ තමයි මමයි සුරේන්ද්‍රයි විවාහ වුණේ. මැයි 25 තමයි අපේ විවාහ මංගල්‍ය තිබ්බේ. ඒ කාලේ වෙද්දි මට හමුදාව ගැන මගේ කෙනෙක්ගෙන් අත්දැකීම් ලැබිලා තිබ්බේ නෑ. සුරේන්ද්‍රව විවාහ කරගත්ත දවසේ ඉඳන් එයා හරිම කාර්යබහුල කෙනෙක්. අපි විවාහ වෙලා අවුරුදු දහයක් වෙනවා. එයා යන යන කෑම්ප්වලට අපි පවුලත් එක්කම ගිහින් නතර වෙලා හිටියේ. අනුරාධපුර කෑම්ප් එකේ අවුරුදු තුනක් විතර හිටියා. සුරේන්ද්‍ර ගුවන් හමුදාවේ සේවය කරන්නේ. 

යුද්දේ ඉවර වුණාට පස්සේ මම එයාගෙන් ඇහුවා ‘ඇයි දැන් හමුදාවක් ඕන වෙන්නේ’ කියලා. එයා මට කිව්වා මෝඩ ප්‍රශ්න අහන්න එපා කියලා. එයා මට තේරුම් කළා ඒ සේවය. එයා වගේම ආරක්ෂක අංශයේ බොහෝදෙනා කරන කැපවීම අපි දකිනවා. ගිය අවුරුද්දේ බෝම්බ පිපිරුව වෙලාවෙත් සුරේන්ද්‍ර වගේම ආරක්ෂක අංශයේ සියලුදෙනා එළියේ වැඩ කළේ. ඉතින් මමත් නිතරම බයේ හිටියේ. පිරිත් කිය කිය එයාට වගේම සියලු රණවිරුවන්ට ආශීර්වාද කරමින් හිටියේ. එයාලා හැම වෙලාවෙම හිතන්නේ රට ගැන. 

රාජකාරිය දේවකාරිය විදිහට සලකලා ඒ වෙනුවෙන් හැම රණවිරුවෙක්ම කැප වෙලා ඉන්නේ. ඔහු ගැන මට ආඩම්බරයි. ඒත් මගේ තාත්තා පොඩි කාලේ නැති වුණු නිසා මම සුරේන්ද්‍රට නිතරම කියන්නේ අපේ ළමයි ගැනත් හිතන්න කියලා. එයා අපි වෙනුවෙන් ඉටු කරන්න ඕන යුතුකම් මඟ හරින්නෙත් නැහැ. සුරේන්ද්‍ර දැන් ගුවන් හමුදාවට බැඳිලා අවුරුදු 22ක්. එයාට සේවයෙන් අයින් වෙන්න පුළුවන් වුණත් එයා කියන්නේ අපි රට රකින්න ඉන්න ඕනේ කියලා. 

මමත් රට ජාතියට ආදරෙයි. අපිට කරන්න බැරි දේවල් මගේ සැමියා රට වෙනුවෙන් කරන එක ගැන ආඩම්බරයි. එයා රට රකිද්දී මම එයාව රකිනවා. මේ කොරෝනා වසංගත කාලෙදි වුණත් ඔහු සේවයට කැප වෙලා ඉන්නේ. රෑටත් වැඩ. එයා ගෙදර ආපු ගමන් ඇඳුම් පිරිසුදු කරලා, එයාට පිරිසුදු වෙන්න දේවල් හදලා දීලා කොත්තමල්ලි තම්බලා බොන්න දීලා. එයාව පරිස්සම් කරනවා. සමහර වෙලාවට එයා එළියට ගිහින් ආවම දරුවෝ ගාවට යන්න විදිහක් නැහැ. එයාට රට රකින්න දීලා අපි එයාව රැකගෙන ඉන්නවා.

ඔහුව තෝරාගැනීම ගැන ගෞරවයක් තියෙන්නේ

නෙතු ප්‍රියංගිකා

දැන් මම මවක් වෙන්න සූදානමින් ඉන්නේ ඔයත් එක්ක කතා කරන මේ මොහොතේ ඉඳන් තව දවස් කිහිපයයි බබා ලැබෙන්න තියෙන්නේ. මගේ සැමියා පොලිසියේ සේවය කරන්නේ. ඉතින් මම පොලිස් නිලධාරියෙක් මගේ සැමියා විධියට තෝරා ගැනීම ගැන පුදුම ගෞරවයකින් ඉන්නේ. පොලිසියේ සේවය කරන නිසා ඔහුව විවාහයට තෝරා ගන්න වුණත් මම ඒ කාලේ බය වුණා. මොකද මම රංගන ක්‍ෂේත්‍රයේ ඔහු පොලිස් සේවයේ. 

ඉතින් දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙක වුණත් එයාට මං ළඟ ඉන්න පුළුවන් වෙයිද කියලා මම ඒ කාලේ කල්පනා කළා. මම ඇත්තටම දැන් සතුටු වෙනවා. මේ තමයි මම ස්වාමි පුරුෂයෙක් ලෙස වගේම පොලිස් නිලධාරියෙක් ලෙස ඔහුව හොඳටම තේරුම් ගත්ත කාලය. මේ පවතින වසංගත තත්ත්වය එක්ක බොහෝම අමාරුකම් එක්කනේ ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ. මගේ සැමියාට නිවාඩු නැති නිසා එයාට රාජකාරි කටයුතු වෙනුවෙන් යන්න වෙනවා. 

මට ඔහුගේ රාජකාරිය ගැන හොඳ අවබෝධයක්, දරා ගැනීමක් දැන් තියෙනවා. ඕනම ගැහැනියක් කැමැතියි මේ වගේ වෙලාවක සැමියා ළඟ ඉන්නවාට. නමුත් මේ වෙලාවේ මගේ සැමියා වගේම ආරක්ෂක අංශවල සියලුදෙනා රට ගැනත් බලන්න ඕනේ. හැබැයි මගේ සැමියා සේවයට ගිහින් ගෙදර ඇවිත් නිදාගන්න තියෙන කාලය වුණත් මං වෙනුවෙන් වෙන් කරන්නේ. මම කැමැති පෝෂ්‍යදායි කෑම පවා එයා ගෙදර ආවට පස්සේ යූ ටියුබ් එක බලලා හදලා දෙනවා. 

මම ගැබිනියක් නිසා ගෙදරට විසබීජ එයි කියන බයට එයා කිහිප සැරය නානවා. පුදුම කැප කිරීමක් ඔහු කරන්නේ. ඔහු වගේ කෙනෙක් එක්ක විවාහවීම මගේ පිනක්. පොලිස් දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා සමහරු පොලිස් දෙපාර්තමේන්තුවටම තමයි ‍ෙදාස් නඟන්නේ. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නේ මානුෂීය හැඟීම්වලින් පිරුණු මිනිස්සු. එක් කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා සමස්ත පොලිසියටම සමහරු ‍ෙදාස් නඟනවා. ඒක වැරැදියි. 

සමහරු මගෙනුත් අහලා තියෙනවා ‘අපෝ පොලිසියේ කෙනෙක්ද බැඳලා ඉන්නේ’ කියලා. මම කියන්නේ සමස්තය දිහා එහෙම විවේචනාත්මකව බලන්න එපා. ඔවුන් රට වෙනුවෙන් සේවය කරන මානුෂීය හැඟීම්වලින් පිරුණ මිනිසුන්. මගේ ගම නුවර. මගේ මහත්තයාගේ ගම අම්පාර. අපේ නෑදෑයන්ටවත් මේ වෙලාවේ අපි ළඟට එන්න බෑ. මගේ සැමියා තමයි මං මේ ඉන්න තත්ත්වය එක්ක මාව බලාගන්නේ. මට ඇවිදින්න, හරියට රෙද්දක් හෝදගන්නවත් බෑනේ මේ ඉන්න තත්ත්වය එක්ක. වෘත්තීය අකුරට කරන ගමන් සැමියෙක් විධියට ඔහු මං වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ