ලෝකයම පීඩා විඳින ආපදා අවස්ථාවකදී රසිකයන් ආදරය කරන කටහඬකට ඔවුන්ව සුළු මොහොතක් හරි සතුටු කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ නිසා අමිලා නදීශානිගේ හඬට ආදරය කරන ආදරණීය ජනතාව අසරණ වුණ මේ වෙලාවේ ගායිකාවක් විදිහට මමත් මට පුළුවන් විදිහට මගේ යුතුකම ඉටු කරගෙන යනවා. 

කොරෝනා වයිරසය නිසා අසරණ වුණු, හුදෙකලා වුණු ආදරණීය රසිකයන්ගේ රසවින්දනය උදෙසා මේ දවස්වල ඔවුන් ජීවත් වන මහල් නිවාස සංකීර්ණවල එළිමහන් ප්‍රසංගවලට සහභාගිවීමට ලැබීම භාග්‍යයක් කියලා මම නම් හිතන්නේ. ඒ මොකද ඒ මිනිසුන්ට පුංචිම සතුටක් හරි ලබාදෙන්න මගේ හඬට පුළුවන් වුණා කියන සතුට මට ලැබෙන නිසා. අපේ මිනිසුන්ට අධික කාර්යබහුලත්වය ඉවසන්න පුළුවන්, හැබැයි හුස්ම ගන්න වේලාවක් නෑ කිය කියා වැඩ පස්සේ දුවපු මිනිසුන් එක තැනකට වෙලා කම්මැළිකමින් දවස් ගාණක් ඉද්දී ආතතියෙන් පෙළෙනවා. 

ඒ වගේම ගෙදර ඉන්න ගෘහණියට නම් මේ දවස්වල හිනා වෙලා ගෙදර අය එක්ක කතා කරන්න වෙලාවක් නැතිව ඇති. ඒ මොකද වෙනදාට වඩා පවුලේ රාජකාරි ඇයට සිදු කිරීමට වන නිසා. දරුවන් රූපවාහිනි ළඟට, ෆෝන් එකට, ඇඳට සීමා වෙලා ඉන්නේ. ඉතින් මේ අයගේ හිත සුවපත් කරන්න පුළුවන්, ඒ අයව සතුටු කරන්න පුළුවන් වැඩවලට සම්බන්ධ වීම ඇත්තෙන්ම මට ආඩම්බරයක් වගේම පුදුමාකාර සතුටක්. 

ඉතින් නාගරික නිවාස සංකීර්ණවලට හිර වී සිටින මිනිස්සු වෙනුවෙන් කරන ප්‍රසංගවලට සහභාගි වෙද්දී මම මගේ ආරක්ෂාව ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. මොකද මම ආරක්ෂා වුණොත් මගේ පවුලම ආරක්ෂා වෙනවා. ඒ විදිහට සිතා අපි සියලු දෙනා කටයුතු කළොත් අපිට කොරෝනා වයිරසයෙන් ජය ගන්න පුළුවන් වෙයි. කොරෝනාවලින් ඔබ ආරක්ෂා නොවුණොත් විශාල දුක්බර කතා ගොඩාක් අපිට අහන්න වෙයි. ඒක නිසා ඉතාම ආදරයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නේ පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න කියන එකයි.

දිනුෂ රුවන් මුණසිංහ